
තුනේ පන්තියේ බුද්ධාගම පොතේ කියවුණු පරිදි සිදුහත් බබා ඉපදී සුළු කලකින් බබාලයි අම්මා මිය ගියාය.
ඒ බබා ගේ අවාසනාවයි!
ඒ "බබා ගේ අවාසනාව" කතාව බුද්ධාගම පොතේ කෙලින්ම නොකියවුණද එය අප විසින් විසින් තම තම නැණ පමණින් යුතුව අවබෝධ කර ගත යුතු කාරණයකි.
අපේ පුතු පැටියා ඉපදෙන්නට සති දෙකකට කලින් එන්ඩ බබාලයි වෙන්ඩ අම්මා විරැකියාවට පත්විය. ඒ තමන් කරමින් සිටි ජොබ් කට්ටෙන් ඉල්ලා අස්වීමෙනි. එය බබා ගේ වාසනාවයි. මක්නිසාද යත් අම්මා සමග මාස දහයක්ම උදේ හවා තුරුළු වී සිටින්නට පැටියාට හැකිවීමයි.
කතන්දරහාමිනේ පුර්ණකාලීන රැකියාවකට ගියේ දරු ප්‍රසුතියෙන් මාස පහලොවක් ගතවීමෙන් පසුවය.
මංතුමා ගේ මෑණියෝ රැකියාවක් නොකළහ. සැමදා මා ද මගේ දෙබෑයන් ද වෙනුවෙන් නිවසේ රැඳී සිටියාය.
උදේ පාසල් යන අපට පාතරසය සාදා දී සමුදෙන ඕ තොමෝ අප පාසල නිමවා නිවසට එනවිට දිවා ආහාරය සකසා පෙරමග බලමින් සිටියාය.
ඒ අපේ වාසනාවයි. නමුත් එය ඇගේ අවාසනාව වෙන්නට ඇත.
ඇගේ ඒ අවාසනාව පිළිබඳ මුල්ම සාක්‍ෂි වාර්තාවෙන්නේ කතන්දර බබා ඉපදී දින දෙකක් ඇතුලත දී ය.
මේ ඒ කතන්දරයයි.
කතන්දර බබා ඉපදුනේ ද, අපේ රෝස බබා ඉපදුණු කොළඹ කුරුදුවත්තෙන් පාරෙන් එහා පැත්තේ පිහිටි හොස්පිටිතාලේදීම ය.
ඒ වාසනාවන්ත කොලු පැටියා බැලීමට ජොන්සන් බේබි තෑගි පෙට්ටියක්ද රැගෙන පසුවතදාම වාගේ එහි පැමිණියේ බබාලයි අම්මා ගේ ලඟම ඥාතියෙකු වන "පෝසත් නැන්දා" සහ එම මාමා ය.
පෝසත් නැන්දා යනු කතන්දර බබා ගේ සීයා ගේ එක කුස උපන් නැගෙණියයි. ඇය පෝසත් වූයේ පරම්පරානුගත බූදලයකින් නොව සැමියා ගේ පොහොසත්කම නිසාය.
පාසල් ගුරුවරුන් වූ සීයාත්, ආච්චීත් දෙන්නා දෙපොලේ දැක්කු නිසා බබාලයි අම්මා කුඩා කළ කාලය ගත කර ඇත්තේ මේ පෝසත් නැන්දා ගේ නිවසේ ය.
එදා ඒ වාසනාවන්ත බබා ගේ පුර සඳවන් මූණත්තහඩුව දැක බලා සිත් සතන් පහන්කරගත් පෝසත් නැන්දා සහ මාමා යුවල, බබාලයි අම්මා සමගද සතුටු සාමීචියේ යෙදී සිට ලෙඩුන් බලන වෙලාව අවසානයේ පිටත් වෙන්නට සැරසුණි.
සිය බුරුත කබාය මෑත්කර බඳ පටියේ පොකැට්ටුවෙන් ලොකු නෝට්ටුවක් අතට ගත් මාමා "ආ! දුවේ මේක තියා ගනිං!" යනුවෙන් පවසා එය ඇඳේ වැතිර සිටි බබාලයි අම්මා ගේ අත මත තැබීය.
"තැන්කියු අංකල්!" යැයි කියන්නට කට අරින්නටවත් බබාලයි අම්මාට නොහැකි විය.
ඊට කලින් උකුස්සෙකු මෙන් වහා ක්‍රියාත්මක වූයේ පෝසත් නැන්දායි.
"සුදු හාමිනේ ට මොකටද සල්ලි මේ ඉස්පිරිතාලේ?" යැයි පැවසූ පෝසත් නැන්දා හිමින් සීරුවේ මුදල් නෝට්ටුව බබාලයි අම්මා ගේ අතින් රැගෙන තමාගේ හැට්ටය අස්සේ රුවා ගත්තාය.
අම්මා ගේ අවාසනාවන්ත කාලයේ ආරම්භය එයින් සංකේතවත් වුණි.
-කතන්දරකාරයා
ප/ලි: අම්මා ගේ අවාසනාවන්ත කාලය අවසන් වූයේ කතන්දර හාමිනේ ගේ වාසනාවන්ත කාලයේ අවසානයත් සමග එකම දිනයකදීය! එදා අම්මා ගේ අවාසනාව හාමිනේට සංක්‍රමණය විය. එහි සංවත්සරය පසුගිය දිනක යෙදුනි.
(image: http://www.lakehouse.lk/budusarana/2012/01/22/PrintPage.asp?REF=vision06)